2024 වසරේදී හොරොව්පතාන ප්‍රදේශයේදී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වූ ගෝනපීනුවල කපිල කුමාර යන අයගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අද දින අලුත්කඩේ පිහිටි ගරු අභියාචනාධිකරණය හමුවේ රිට් (Writ) පෙත්සමක් ගොනු කරන ලදී.
මෙම නෛතික ක්‍රියාමාර්ගය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්යක්ෂ, නීතිඥ සේනක පෙරේරා මහතා සඳහන් කළේ, අදාළ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වින්දිතයාගේ මව විසින් මීට පෙර නීතිපතිවරයා වෙත පැමිණිලි කර තිබුණද, බලධාරීන් ඒ පිළිබඳව කිසිදු විධිමත් පියවරක් ගෙන නොමැති බවයි. පවතින නීතිමය රාමුව තුළ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවීම හේතුවෙන් මෙම නඩුව පැවරීමට තීරණය කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම පෙත්සම මගින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් හත්දෙනෙකු නම් කර ඇති අතර, 2018 අංක 5 දරන ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය’ පනත ප්‍රකාරව කඩිනම් විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මෙන්ම දේශීය නීතිය යටතේද බරපතල අපරාධයක්. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන මන්දගාමී වීම හෝ නිසි පියවර නොගැනීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල වන බරපතල බාධාවක්,” යැයි නීතිඥ සේනක පෙරේරා මහතා අවධාරණය කළේය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සැමවිටම පෙනී සිටින්නේ අගතියට පත් සිරකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාධාරණත්වය උදෙසා වන අතර, කපිල කුමාර මහතාට යුක්තිය ඉටු වන තෙක් මෙම නෛතික අරගලය ඉදිරියට ගෙන යන බව සංවිධානය වැඩිදුරටත් දන්වා සිටියි.

