පසුගියදා වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩු විභාගයේ සාක්ෂිකරුවන්ට සහ නීතිඥයින්ට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අනාවරණය කරයි.
ඊයේ (2026 මාර්තු 03) දින පොලොන්නරුව පොලිස් ස්ථානය වෙත පැමිණි මියගිය තරුණයාගේ මව සහ CPRP කැඳවුම්කරු සුදේශ් නන්දිමල් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් ආරක්ෂා කිරීමේ ක්රමානුකූල උත්සාහයක් ක්‍රියාත්මක වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ සුදේශ් නන්දිමල් මහතා අවධාරණය කළේ, වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා නඩු විභාගයෙන් ඉවත් කිරීමටත්, සාක්ෂිකරුවන් පොලිස් රථවල නංවාගෙන ගොස් ඔවුන්ගේ සාක්ෂි කෙරෙහි බලපෑම් කිරීමටත් ඇතැම් නිලධාරීන් කටයුතු කර ඇති බවයි.
“ඝාතකයින් ආරක්ෂා කිරීමේ උවමනාවක් ඇතැම් පොලිස් නිලධාරීන් තුළ පවතින බවට අපට බරපතල සැකයක් පවතිනවා. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සහ නීතිඥයින්ට පදනම් විරහිත චෝදනා එල්ල කිරීම හරහා යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය අඩාල කිරීමට ඔවුන් උත්සාහ කරනවා,” යැයි නන්දිමල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතු අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙසත්, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන ඕනෑම මැදිහත්වීමක් වැළැක්වීමට වහාම කටයුතු කරන ලෙසත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින්, වින්දිත පාර්ශ්වයන්ට සාධාරණය ඉටු කිරීම වගකිවයුතු ආයතනවල මූලික වගකීමක් බවද අප කමිටුව මෙහිදී අවධාරණය කර සිටී.
පොලිස් ප්රචණ්ඩත්වය හමුවේ අසරණ වන වැසියන්ට යුක්තිය ඉටු කර ගැනීම සඳහා ඇති අයිතිය කිසිදු බාධාවකින් තොරව සුරක්ෂිත විය යුතුය. වින්දිත පාර්ශ්වයන් වෙනුවෙන් සහ සාධාරණත්වය වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ගෙන යන මෙම සටන යුක්තිය ඉටු වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

