බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අධිකරණ අමාත්‍යාංශයට ලිපියක්

බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අධිකරණ අමාත්‍යාංශයට ලිපියක්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් ජගත් වීරසිංහ මහතා 2025 ඔක්තෝබර් 22 වන දින නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වෙත ලිපියක් ඊයේ (2025 10/27) බාර දෙනු ලැබීය.

අදාළ ලිපියෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පහත කරුණු අවධාරණය කර සිටී.

අධිකරණය මගින් ලබා දෙන මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්ද එය ලෝකය හමුවේ නැවත වරක් තහවුරු කර ඇති බවත්ය. එසේම නීතිපතිවරයා ද අධිකරණයට දන්වා ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවද ඔවුන් සිය ලිපියේ පෙන්වා දේ. ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇති බවත් කොමසාරිස්වරයාගේ ප්‍රකාශය බන්ධනාගාර මෙහෙවර ප්‍රකාශනයද උල්ලංඝනය කිරීමක් බවත ලිපියෙන් අවධාරණය කරයි.

දඬුවම් ලැබූ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට මුල්තැන දෙමින්, ඔවුන්ගේ කුසලතා සංවර්ධනය සඳහා 2025 අයවැය යෝජනාවලියෙන් රුපියල් මිලියන සියයකට (රු. 100,000,000/-) වඩා අමතර ප්‍රතිපාදන වෙන් කර ඇති පසුබිමක සේම පුනරුත්ථාපන මධ්‍යස්ථාන 10ක් පිහිටුවීමේ කටයුතු ද රජය විසින් අරඹා ඇති මොහොතක, බන්ධනාගාර කොමසාරිස්වරයෙකු විසින්ම මෙසේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීම රජයේ ප්‍රතිපත්තියට එරෙහිව යාමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

එසේම බන්ධනාගාරයේ ඉහළම නිලධාරියෙකු තම නිල ඇඳුමෙන් සැරසී සිදුකළ මෙම ප්‍රකාශය, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පොදු මතය දැයි රටේ පුරවැසියන් තුළ සැකයක් මතුව ඇතැයිද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සිය ලිපියෙන් පෙන්වා දේ.

එසේම, මෙවැනි අදහස් දරන නිලධාරීන්ගෙන් රජය ක්‍රියාත්මක කිරීමට නියමිත පුනරුත්ථාපන වැඩපිළිවෙළට හානි පැමිණිය හැකි බැවින්, මේ සම්බන්ධයෙන් සුදුසු පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙසද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.