බූස්ස බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවයක් රජයේ කඩිනම් මැදිහත්වීම අවශ්‍යයි. – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP)

බූස්ස බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවයක් රජයේ කඩිනම් මැදිහත්වීම අවශ්‍යයි. – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP)

බූස්ස බන්ධනාගාරයේ මතුව ඇති ගැටලුකාරී වාතාවරණය සහ බන්ධනාගාර පද්ධතියේ පවතින දැඩි අසහනකාරී තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා “සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව” (CPRP) විසින් 2025 දෙසැම්බර් 09 වන දින බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

මෙහිදී අදහස් දැක්වූ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ (CPRP) සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ

බන්ධනාගාර පද්ධතිය දැනට එහි ධාරිතාව මෙන් හතර ගුණයකට වඩා වැඩි පිරිසකගෙන් පිරී පවතින බවයි. එසේම නීත්‍යානුකූලව රැඳවියෙකුට හිමිවිය යුතු වර්ග අඩි 24 ක ඉඩකඩ , මීගමුව සහ වවුනියාව වැනි බන්ධනාගාරවල වර්ග අඩියක් දක්වා අඩු වී ඇති බවත් ඔහු පැවසීය.

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට ආහාර, වෛද්‍ය පරීක්ෂණ සහ පවුලේ අය සමඟ සන්නිවේදනය කිරීමට දැඩි බාධා පනවා ඇති බවත්, එහි දරුණු ගැටුමක් ඇති කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බවත් ඔහු තවදුරටත් අනතුරු ඇඟවූ අතර බන්ධනාගාර කටයුතු සඳහා පුහුණු නිලධාරීන් පමණක් යෙදවිය යුතු බවත්, විශේෂ කාර්ය බලකාය (STF) යෙදවීමෙන් තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ (CPRP) ජ්‍යෙෂ්ඨ උපදේශක සුදේශ් නන්දිමාල් සිල්වා මහතා අදහස් දක්වමින්, දෙසැම්බර් 07 වනදා බූස්ස බන්ධනාගාරයේ සිරකරුවන් මාරු කිරීමට යාමේදී ඇති වූ නොසන්සුන්තාවය කිසියම් කුමන්ත්‍රණයක කොටසක් විය හැකි බවය.

නඩු වාර්තා ප්‍රමාදය නිසා රිමාන්ඩ් සිරකරුවන් වැඩි වන බැවින්, මාස 3ක් ඇතුළත නඩු අවසන් කරන ක්‍රමවේදයක් සකසන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ (CPRP) සාමාජිකා සහන්තිනී රත්නායක මහත්මිය වැලිකඩ කාන්තා අංශයේ 200ක ඉඩක රැඳවියන් 800ක් රඳවා සිටීමෙන් සනීපාරක්ෂක පහසුකම් පවා අහිමි වී ඇති බව ඇය පෙන්වා දුන්නාය.

ගර්භණී මවුවරුන් බන්ධනාගාරගතව දරුවන් බිහි කිරීම සහ වසර 20කට වඩා මරණ දඬුවම ලැබූවන් තවදුරටත් රඳවා තැබීම ඛේදජනක බවත්, ඔවුන් පුනරුත්ථාපනය කර නිදහස් කිරීමට පියවර ගත යුතු බවත් ඇය අවධාරණය කළාය.

“සිරකරුවන් ද මනුෂ්‍යයන් බවත්, ‘නෙල්සන් මැන්ඩෙලා’ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට රජය වහාම මැදිහත් විය යුතු බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) මෙහිදී දැඩිව ප්‍රකාශ කළේය. මෙම බරපතල තත්ත්වය වහාම සමනය කිරීම සඳහා කමිටුව රජයෙන් ඉල්ලා සිටියේය.”