ශ්‍රී ලංකා පොලිස් බලකාය තුළ ක්‍රියාත්මක වන දූෂිත සහ ම්ලේච්ඡ වැඩපිළිවෙළ තවදුරටත් නොවෙනස්ව පවතින බවත්, සිදුකරන අපරාධ වසන් කිරීම සඳහා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් මර්දනයක් දියත් කර ඇති බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවධාරණය කරයි. ඊයේ (මාර්තු 04) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී එම කමිටුවේ නියෝජිතයන් පෙන්වා දුන්නේ, වැලිකන්ද ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදුකළ බව කියන තරුණ ඝාතනයකට අදාළ නඩු විභාගය කඩාකප්පල් කිරීමට පොලිසිය මේ වන විට සෘජුවම මැදිහත් වෙමින් සිටින බවයි.
මාධ්‍ය සාකච්ඡාව අමතමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා මහතා ප්‍රකාශ කළේ, 2026 ජනවාරි මස 12 වන දින වැලිකන්දේදී ක්‍රිෂාන් නැමති තරුණයා ඝාතනය කිරීමේ සිද්ධිය යට ගැසීම සඳහා පොලිසිය දැන් අධිකරණ ක්‍රියාවලියට පවා බලපෑම් කරමින් සිටින බවයි. වින්දිත පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයෙන් ඉවත් කිරීමට පොලිසිය දැඩි උත්සාහයක නිරත වන බවත්, සාක්ෂිකරුවන්ව පොලිස් රථවලින් රැගෙන ගොස් නීතිඥවරයාට එරෙහිව බොරු සාක්ෂි ගොනු කරන ලෙස ඔවුන්ට බලපෑම් කරන බවත් ඔහු අනාවරණය කළේය. “නීතිඥවරයාව කෙසේ හෝ හිරේ යවන්න” යනුවෙන් පොලිසිය සාක්ෂිකරුවන්ට බලකරනු තමන්ට ඇසුණු බව මියගිය තරුණයාගේ මව විසින්ම පැමිණිලි කර ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු මහතා මෙහිදී පෙන්වා දුන්නේ, පොලිසිය විසින් සැකකරුවෙකු මෙල්ල කිරීමට උත්සාහ කිරීමේදී “අවම බලය” පාවිච්චි කළ යුතු වුවද, මෙම සිදුවීමේදී ඉතා පැහැදිලිවම “උපරිම බලය” පාවිච්චි කර ඇති බවයි. විශේෂයෙන්ම පළමු වෙඩි පහරින් පසු සැකකරු අඩපණව සිටියදී දෙවන වරටත් වෙඩි තැබීමට තිබූ අවශ්‍යතාවය කුමක්දැයි ඔහු ප්‍රශ්න කළ අතර, මෙම සිදුවීම පිළිබඳව ස්වාධීන සහ විවෘත මනසකින් යුත් විමර්ශනයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් පමණක් නොව, ඒ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට එල්ල වන බාධා කිරීම් සහ තර්ජන පිළිබඳවද ඔහු සිය කනස්සල්ල පළ කළේය. අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට පොලිසිය දරන උත්සාහය යුක්තිය පසිඳලීමේ පද්ධතියට කරන බාධාවක් බවත්, එබැවින් මෙම නඩුව වහාම ප්‍රදේශයේ පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වැනි ස්වාධීන ඒකකයකට පවරන ලෙසත් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
සිවිල් ක්‍රියාකාරී ශාන් විජේසූරිය මහතා තම අදහස් දැක්වීමේදී වර්තමාන පොලිස් පරිපාලනයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය. රට තුළ දැන් ක්‍රියාත්මක වන්නේ “පොලිස් පාතාලයක්” බවත්, ආණ්ඩු සහ නිලධාරීන් මාරු වුවද පවතින දූෂිත මර්දනකාරී ක්‍රමය වෙනස් වී නැති බවත් ඔහු පෙන්වා දුන්නේය. දූෂිත නිලධාරීන් යටතේ පැවති ම්ලේච්ඡත්වය තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය. මධුෂ් සහ කොස්ගොඩ තාරක වැනි සැකකරුවන් ඝාතනය කළ ආකාරයටම නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට පොලිසියට ඉඩ දිය නොහැකි බවත්, නිට්ටඹුවේ ඝාතන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ යුක්තිය පොලිසිය අතින් මියයන සාමාන්‍ය වැසියන් වෙනුවෙන්ද ඉටු විය යුතු බවත් ඔහු පැවසීය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අවසාන වශයෙන් රජයට සහ බලධාරීන්ට බලකර සිටින්නේ, යුක්තිය ඉටුකිරීමට බාධා කරන දූෂිත නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා නීතිඥ සේනක පෙරේරා මහතා ඇතුළු ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි. මෙම මර්දනය හමුවේ තම සංවිධානය පසුබට නොවන බවත්, මියගිය වින්දිතයන්ට යුක්තිය ඉටුකරන තෙක් ජාත්‍යන්තර ප්රජාවද දැනුවත් කරමින් මෙම සටන ඉදිරියට ගෙන යන බවත් කමිටුව වැඩිදුරටත් අවධාරණය කරයි.

