පසුගිය කෙටි කාලසීමාව තුළ මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන් වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, එම අපරාධ වසන් කිරීමට බන්ධනාගාර බලධාරීන් උත්සාහ කරමින් සිටින බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) අවධාරණය කරයි. ඊයේ (06) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම කමිටුවේ නියෝජිතයන් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු අනාවරණය කළහ.
මෙහිදී අදහස් දැක්වූ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමල් සිල්වා මහතා පෙන්වා දුන්නේ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මාංචු දමා එල්ලා තබා අමානුෂික ලෙස පහර දී ඝාතනය කර ඇති බවයි. බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර පවතින බව කියන මත්ද්‍රව්‍ය ගනුදෙනු මීට මුල් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, මීට සම්බන්ධ ප්‍රධාන නිලධාරියෙකු ආරක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි තරුණ රැඳවියෙකු නිදහස් වීමට දින කිහිපයක් තිබියදී, මහමගදී සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් කළ පහරදීමකින් මියගොස් ඇති බව ද මෙහිදී හෙළි විය.
මෙම ඝාතන සිද්ධීන්වලට අදාළ සාක්ෂිකරුවන්ට සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට බන්ධනාගාර නිලධාරීන් විසින් තර්ජනය කරමින් සිටින බවට ද කමිටුව චෝදනා කළේය. “මියගිය රැඳවියන්ගේ පවුල්වලට සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කරමින් මේ අපරාධ වසන් කරන්න උත්සාහ නොකර, වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි” යැයි සුදේශ් නන්දිමල් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුව ඇමතූ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සාමාජික රසික ගුණවර්ධන මහතා කියා සිටියේ, සිරකරුවන් රජයේ භාරයේ සිටියදී මෙවැනි ඝාතන සිදුවීම බරපතල තත්ත්වයක් බවයි. “විපක්ෂයේ සිටියදී සිරකරු අයිතිවාසිකම් ගැන කතා කළ වත්මන් අමාත්‍යවරුන් අද නිහඬව සිටීම පිළිගත නොහැකියි. බන්ධනාගාර නිලධාරීන් රැඳවියන් සමඟ සිදුකරන දූෂිත ජාවාරම්වල අවසානය මෙවැනි ඝාතනයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය සහ පීඩනය හේතුවෙන් රැඳවියන් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් විය. වහාම මෙම ඝාතන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙසත්, බන්ධනාගාර පද්ධතිය තුළ මානව හිමිකම් සුරක්ෂිත කරන ලෙසත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව රජයෙන් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි.

