බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ මහතා විසින් පසුගිය දා සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) පවසයි. මේ බව ඔවුන් සඳහන් කළේ ඊයේ (2025 10/23) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්ය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා මහතා පෙන්වා දෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙවර ‘දඬුවම් කිරීම’ නොව, ‘භාරකාරත්වය, රැකවරණය සහ පුනරුත්ථාපනය’ මත පදනම් වන බවයි.
“එම තත්ත්වය තුළ, මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස්වරයකු කියන්නේ කොහොමද? ඔහු පවසන දේ දෙපාර්තමේන්තුවේ මෙහෙවරට සම්පූර්ණයෙන්ම පටහැනියි” යි නීතිඥ සේනක පෙරේරා පැවසීය.
නීතිඥ සේනක පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, “සිරකරුවන් මරණ දඬුවමට ලක් කිරීම බන්ධනාගාර තදබදයට විසඳුම නොවන බවත්, නිලධාරීන් මරණ දඬුවමට පක්ෂ මානසිකත්වයකින් කටයුතු කරනවා නම්, සිරකරුවන්ට සලකන ආකාරය ගැන සිතාගත හැකි බවත්ය. එසේම, මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කළ යුතු බව ඔහු පැවසීය.”
එම මාධ්‍ය හමුවට එක්වෙමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමල් සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.
ජගත් වීරසිංහ මහතාගේ ප්‍රකාශය ‘රැඩිකල් කතාවක්’ සහ ‘ආන්දෝලනාත්මක කතාවක්’ ලෙස හඳුන්වමින් සුදේශ් නන්දිමල් සිල්වා මහතා ප්‍රකාශ කළේ , අපරාධකරුවෝ ඉපදෙන්නේ නැති බවත්, සමාජ විෂමතාවයන්ට ප්‍රතිකාර කිරීම මඟින් අපරාධ වැළැක්විය යුතු බවත් පෙන්වා දුන්නේය.
ඔහු තවදුරටත් අවධාරණය කළේ නිල ඇඳුම ඇඳගෙන, තම භාරයේ සිටින රැඳවියන් ඝාතනය කළ යුතු බවට ප්‍රකාශ කිරීම පෞද්ගලික මතයක් නොවන බවත්, එය බන්ධනාගාර බලධාරීන්ගේ ස්ථාවරයද යන්න හෙළි කළ යුතු බවත්ය.
අවසාන වශයෙන් ඔහු ඉල්ලා සිටියේ, නිලධාරීන්ගේ මෙවැනි ප්‍රකාශ ආණ්ඩුවට කළු පැල්ලමක් වන බැවින්, අධිකරණ අමාත්‍යවරයා වහාම මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා, සිරකරුවන් මනුෂ්‍යයන් ලෙස සැලකීමේ යථාර්ථය තහවුරු කරන ලෙසයි.

