මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු මැයි 06 දක්වා රිමාන්ඩ් – පීඩාවට පත් පාර්ශ්වයන් මානව හිමිකම් කොමිසමට

මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු මැයි 06 දක්වා රිමාන්ඩ් – පීඩාවට පත් පාර්ශ්වයන් මානව හිමිකම් කොමිසමට

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි රාජපක්ෂ මිනිමුතු පතිරලාගේ තුෂාර සම්පත් (38) නමැති රැඳවියා ඊයේ (27) උදෑසන සිදුවූ පහරදීමකින් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ලබන මැයි මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (28) නියෝග කළේය.

මෙම පහරදීම හේතුවෙන් මියගිය තුෂාර සම්පත් සහ බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටින 30 හැවිරිදි රැඳවියා වෙනුවෙන් යුක්තිය පතා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මැදිහත් වී අද දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා මියගිය රැඳවියාගේ පවුලේ සාමාජිකයන් සහ තුවාල ලැබූ රැඳවියාගේ පාර්ශ්වයේ ඥාතීන් ද සහභාගී විය.

ඊට අදාළ නඩුව අද දින කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගන්නා ලදී. B/76766/02 යන නඩු අංකය යටතේ විභාග වූ මෙම නඩුවේදී, අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකාර නිලධාරීන් වන්නේ:

තල්ගස්වත්තගේ සම්පත් කුෂාන්

මීගහගේ දොන් සුරේෂ් දර්ශන පෙරේරා

දිසානායක මුදියන්සේලාගේ උපුල් දිසානායක

සැකකරුවන් තිදෙනා ඉදිරි දිනකදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

රැඳවියන් පිරිසක් එක් වාට්ටුවක සිට තවත් වාට්ටුවකට මාරු කිරීමේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති බව බන්ධනාගාරය පවසන නමුත්, තුවාල ලැබූ සහ මියගිය රැඳවියාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙය බන්ධනාගාර නිළදාරීන් විසින් පෞද්ගලික පලිගැනීමක් ලෙස සැලසුම් සහගතව සිදුකළ අමානුෂික පහරදීමක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.