වැලිකන්දේදී ටිෂාන් තරුණයා ඝාතනය කිරීමේ නඩුව පොලිසිය සාක්ෂි විභාගය මගහැරීමට දරන උත්සාහයට අපගේ දැඩි විරෝධය

වැලිකන්දේදී ටිෂාන් තරුණයා ඝාතනය කිරීමේ නඩුව පොලිසිය සාක්ෂි විභාගය මගහැරීමට දරන උත්සාහයට අපගේ දැඩි විරෝධය

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් ටිෂාන් නැමැති තරුණයා ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම ඊයේ (මැයි 05) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ විය. එහිදී පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) සිය දැඩි විරෝධය පළ කර සිටියි.

නඩු විභාගය ආරම්භයේදීම පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට තමන් මෙදින සූදානම් නොමැති බවයි. පොලිසියේ මෙම ක්‍රියාකලාපය හුදෙක් සාක්ෂි විභාගය කල් දමමින් යුක්තිය ඉටු කිරීම මගහැරීමට සහ සාක්ෂි විනාශ කිරීමට ගන්නා උත්සාහයක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා මහතා චෝදනා කළේය. කෙසේ වෙතත්, කරුණු සලකා බැලූ ගරු මහේස්ත්‍රාත්තුමිය, සාක්ෂි විමසීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පොලිසියට දැඩි ලෙස අවවාද කළාය.

මීට පෙර අවස්ථාවලදී ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට මැදිහත් වීමට ඉඩ නොදීමටත්, ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කරන බවට අසත්‍ය චෝදනා එල්ල කිරීමටත් පොලිසිය උත්සාහ කළ බව නන්දිමාල් මහතා වැඩිදුරටත් පැවසීය. නිල ඇඳුමට මුවා වී සිදුකරන මෙවැනි ඝාතන සාධාරණීකරණය කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත්, මියගිය ටිෂාන් තරුණයා වෙනුවෙන් යුක්තිය ඉටු වන තෙක් තම සංවිධානය අඛණ්ඩව පෙනී සිටින බවත් ඔහු අවධාරණය කළේය.

මෙම නඩු විභාගය සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිති.